ඒත් අපි පන්සලේ වත්තේ..

නිමිත්ත : ''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ." - අධ්‍යාපන ඇමති (පුවතක්)
.
ඉතින් නැන්දල එකා දෙන්නා
රවනකොට ඉස්කෝලේ වත්තේ
කියා නොකියා කිව්වෙ ඒ අය
අකුරු අකැපයි බවද අම්මේ..?
.
හවස් වරුවල පහන් පැල ලඟ
දොහොත් මුදුනත තියා නළලේ
දෑස් අඬවන් කරන් වඳිනව
දුටුවෙ අපි හීනයක් අම්මේ..
.
මාළු කාරය, කුඹල් කාරය
කොයි එකාගෙත් පුතුට අම්මේ
හරි අමුත්තක් ලෝකෙ තියෙනව
ඒත් අපි පන්සලේ වත්තේ..
.
ඔළුව පොඩි බඩ මහත ඇමතිත්
ගොඩක් දේවල් කිව්ව අම්මේ
අනේ මොකටද රිදෙන හිත් ලඟ
ඔය කතා විහිළුවක් අම්මේ..
.
නුඹත් නොහිටිය දාක මාහට
කොහෙද සරණක් පාළු කතරේ
"ඇකය" මත හිස තබන මොහොතක
කඳුළු කැට රත් වෙනව අම්මේ..
.
අප්ප සිප ගත් ලෙඩක් බැඳගෙන
මොර දෙනා මේ පොළෝ මත්තේ
බුදුන් ජේසුන් අල්ලහ් දෙවිදුන්
'එන්නෙ නෑමයි' ළඟදි අම්මේ..
.
#_අනුsh_

Comments

Popular Posts