මෙතැන් සිට, අප හැඩිය යුතු නැත..!!

.
වට්ටියක මධුමල්
පුරෝගෙන
තුසිතයෙන් එන
දෙවුලියන් ගැන
සබඳ,
නුඹලත්
හීන දැක්කද?
නොදැක්කා වගෙ
නිදා ගත්තද?
.
මාළු කට්ටක්
දෙකක් ඇරුනම
බළල් තඩියෙක්
සැපක් හෙව්වද?
මානෙ වැරදුනු
අතීතය ගැන
උන් නිකන් වත්
කතා කෙරුවද?
.
ඉලක්කම් නැති
ගණිතයක් ගැන
සබඳ,
උඹ මම
හිතල බැලුවද?
ජීවිතේ ගැන
සොඳුරු පාඩම්
කොච්චරක් අපි
ඉරල දැම්මද?
.
විලක පොකුණක
දිය කඩිත්තක
තොල් පැලී
වියළුණු දසාවක
කිසිම ගෙම්බෙක්
ප්‍රේමයක් ගැන
නිකන්වත් කෙළ
බිදක් හැලුවද?
.
කොකෙක් ගේ පා
යුග්ම දැවටී
උන් කෙසේ හෝ
නික්ම ගිය බව
දැනං සිටි තෙත
දිය කඩිත්තක්
කිසි කතාවක්
උන්ට ගෙතුවද?
.
ඉතින් මිත,
මී විතෙන් මත් වී
බොහෝ දේ අපි
ලිහා දැම්මට
හෙටත් අළුයම
යම් දෙයක් ගැන
හිතක් හැඬුවොත්
වැඩක් වේවිද?
.
කඳු මුදුන් වල - හුදෙකලා රස
විඳින දවසක - සුළං සිඹ සිඹ
අසමි අහසෙන් - හඬ නගා මම..
.
"ජීවිතේ නොවටිනා තැන් ළඟ
සබඳ, අපි කොච්චරක් ඇඬුවද?"
.
#_අනුsh_

Comments

Popular Posts