ප්‍රේමයක් ගෑවිච්ච තැනකට..!!

.
තබාලා එකිනෙකින් පියවර
දමා සපැමිණි මතකයන් ගෙන
එක්තරා හුරු කටහඬක් එයි
අඬක් මියගිය මහද පතුලට..
.
වහ වහා මම ශෝක වන්නද
ගිටාරය හා දැහැන් සමවැද
වයාපන් මා මිතුරු සකිසඳ
තාලයක් නැති ගීත දිගටම..
.
තනි තරුව තරු නොමැති තැන සිට
සඳ පළුව හා පෙමින් වෙලුනට
ඔන්න බලපන් තරුව තනිකර
පිරුණු පුර හඳ යනව දවසක..
.
මිතුර අපි හැන්දෑවෙ වරුවම
ජීවිතේ පැටලිච්ච කවියම
මොකද බං මේ පිරිමදින්නේ
කඳු තරම් සෝ සුසුම් පිටකර..
.
ප්‍රේමයක් ගෑවිච්ව තැනකට
යන්න යමු බං කඳුළු විසිකර
ඉතුරු කරගත් බිදද මීවිත
පොවා යමු මේ අඬන වෙරළට..
.
#_අනුsh_

Comments

Popular Posts